අඳුරු කුටිය











































නොසන්සුන් වූවෝය තරුණයෝ 
නොතේරේ අපට ඔය දෙසන බණ
වැඩක් නැත අපට ඔය දෙසන බණ 
ගැඹුරු දර්ශන වාද අභිධර්ම 

නිවා ගත නොහැක කුසගිනි බණවලින්
වසා ගත නොහැක ගත විලි බණවලින්
ආවේය දස අතින් හූ හඬක් 
ආවේය දස අතින් ගල් මුල්ද

රොස් පරොස් 
වේදනාව දැනී නළලත 
බලත අතගා 
රතුලේ පැහැය තැවරිණි. 
ඇඟිලි තුඩු අග 
ගලින් නෙළූ ප්‍රතිමාවක් සේ 
අචලව අකම්පිත ව 
බලාසිටියේය ඔහු නොසෙල්වී 
එතැන් හිම 
භීතියක් ඔහු සිතට නොදැණින
කෝපයක් ඔහු සිතට නොනැඟිණ 
මන්ද යත් 
පිරී තිබුණෙන් ඔහුගේ මුළු සිතම 
උන් කෙරෙහි උපන් මහ දයාවෙන් 
(ප්‍රබුද්ධ - 88, 89 පිටු)

එක් ඉරිදා උදෑසනක බලන විට තුංමං හංදියේ සුපරුදු තැන සේකර දකින්න හිටියේ නෑ. තුංමං හංදිය පාලුවෙලා තිබුණා. 

“කෝ මහගම සේකර මහත්මයා”

හිස් බව දකින සියල්ලන් සසල වුණා. දිගින් දිගට මුහුණත මත පතිතවන පන්දු පහර දරා ගන්න නොහැකිව ගියාද? සංසාරේ දුක එතැනින් නිමාවීද? අභිනිෂ්ක්‍රමණය කලාවත්ද? මිනිස්සු රදාවනා පුරා සේකරව සෙව්වා. සේකරගේ ළබැඳියෝ හැමෝම ඊට එකතු වුනා. ඔවුන් කෙරේ උපන් මහා දායාවෙන්, නිවී සැනැහුණු මුහුණින් යුතුව තුංමං හංදියේ පාළු ළිඳ පතුලේ ගරා වැටුණු සුන්බුන් අතරෙ සිටි සේකර ඔවුන්ට හුමුවුණා. සේකර ප්‍රතිමාව කිසියම් පිළිමලකු විසින් ළිඳට හෙලනු ලැබ තිබුණා. පෑරුණු හදින්, තැළුණු හදින්, රිදුණු හදින් මං තුං මං හංදිය පසුකරනා බව කීවේ ඇයි දැයි දැන් ඔබට වැටහෙනු ඇති. 

ඉන්ඉක්බිතිව සේකර කෙරෙහි පෙම් බැන්දෝ, ඔහු යළි තුං මං හංදියේ වඩා හිඳුවා අලුත් පරිම්පරාවේ ඇතැමුන්ගේ ප්‍රහාරයන්ගෙන් ඔහු ආරක්ෂා කරගනු පිණිස ඔහු වටකොට යකඩින් දැල් ගැසූහ. තමා පෙම් බැන්දවුන් විසින්ම සිරගත කරනු ලැබූ සේකර තුංමං හංදියේ සිටී. ඔහු අචලව, අකම්පිතව සිටී යයි ඉතිං මා ඔබට කියන්නේ කෙසේද? සේකර සසලව කම්පිතව සිටින්නා සේ මට දැනෙන බව මම ඔබට කියමි.

[උ‍දේනි සමන් කුමාර විසින් රචිත "මහගම සේකර" කෘතියේ 128 – 131 පිටු]


No comments:

Post a Comment